පීසා පෙට්ටියකින් කොටු වූ දාම ඝාතකයා -  අමෙරිකාවේ අධිකරණයකින් ඓතිහාසික තීන්දුවක්

පීසා පෙට්ටියකින් කොටු වූ දාම ඝාතකයා -  අමෙරිකාවේ අධිකරණයකින් ඓතිහාසික තීන්දුවක්

June 17, 2026   09:49 pm

අමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ ලෝන්ග් අයිලන්ඩ් හි වෙරළ තීරය දී කාන්තාවන් අට දෙනෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ‘රෙක්ස් හියුයර්මන් නමැති පුද්ගලයා ජීවිතාන්තය දක්වා ලිහිල් නොවන සිරදඬුවම් නියම කිරීමට අමෙරිකානු අධිකරණය පියවර ගෙන තිබේ.

දිගු කලක සිට ලෝකය පුරා මහත් ආන්දෝලනයකට ලක්ව තිබූ මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා විත්තිකරු අමතා පවසා ඇත්තේ "ඔබ ඉතාමත් පිළිකුල් සහගත, නින්දිත, පහත් මිනිසෙක්. මොහුව මෙතනින් රැගෙන යන්න!" යනුවෙනි.

62 හැවිරිදි ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ රෙක්ස් හියුයර්මන් වෙත අධිකරණය විසින් උපරිම දඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

පළමු පෙළ මිනීමැරුම් චෝදනා 3ක් සඳහා එකිනෙකට පසුව ක්‍රියාත්මක වන පරිදි ජීවිතාන්තය දක්වා සිරදඬුවම් 3ක්.

දෙවන පෙළ මිනීමැරුම් චෝදනා 4ක් සඳහා තවත් වසර 25ක සිට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් 4ක්.

ඒ අනුව ඔහුට සිය ජීවිතයේ ඉතිරි කාලය සම්පූර්ණයෙන්ම බන්ධනාගාරය තුළම ගත කිරීමට සිදුවන බව සඳහන්වේ.

මෙම ඝාතන 1993 සහ 2010 අතර කාලය තුළ සිදු වී තිබුණද, ඇතැම් මියගිය කාන්තාවන් ලිංගික ශ්‍රමිකයන් වීම හේතුවෙන් පොලීසිය මුල් කාලයේදී මේ පිළිබඳව දැඩි උනන්දුවකින් විමර්ශන සිදු නොකළ බවට වින්දිතයන්ගේ පවුල්වලින් සහ ප්‍රදේශවාසීන්ගෙන් දැඩි චෝදනා එල්ලව ඇත.

කෙසේ වෙතත්, 2022 වසරේදී පිහිටුවන ලද විශේෂ කාර්ය සාධක බලකායක් මඟින්, 2010 වසරේදී සාක්ෂිකරුවෙකු විසින් සැකසහිත පුද්ගලයෙකු සම්බන්ධයෙන් ලබා දී තිබූ සක්ෂි සහ ට්‍රක් රථයක් පිළිබඳ තොරතුර ඔස්සේ විමර්ශන පවත්වා සති 6ක් ඇතුළත හියුයර්මන්ව හඳුනා ගැනීමට සමත් ව ඇත.

පසුව 2023 වසරේදී, ඔහු විසින් අනුභව කර ඉවත දමා තිබූ පීසා පෙට්ටියක තිබූ DNA සාම්පල ආශ්‍රයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි විය.

මුලින් තමා නිවැරදිකරු යැයි පැවසුවද, අවසානයේදී හියුයර්මන් විසින් තමා කාන්තාවන් අට දෙනෙකු ගෙල සිරකර ඝාතනය කර සිරුරු වෙරළේ දමාගිය බව පිළිගත් බව සඳහන් වේ.

තීන්දුවට පෙර කෙටි ප්‍රකාශයක් කළ ඔහු, තමා කළ වැරදි පිළිගන්නා බවත්, මේ අවස්ථාවේදී තම වචනවලින් පලක් නොවන බවත් ප්‍රකාශ කර තිබේ.